යාපනයෙන් හමුවූ අලුත්ම සමූහ සුසානය ‘නීතිවිරෝධී හෝ රහසිගත’ වලදැමීමක්

ශ්‍රී ලංකාවේ අලුතින්ම හමු වු සමූහ සුසානය නීති විරෝධී හෝ රහසිගත හෝ අයුරින් සිරුරු වල දැමූ භූමියක් විය හැකි බව කැනීම් කටයුතු මෙහෙයවන විශේෂඥයන් අධිකරණයට වාර්තා කර තිබේ.
යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් හා වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව ඒ බව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ යාපනය, චෙම්මනි සුසානයෙන් මේ වන විට සිරුරු හයකට අයත් අස්ථි ගොඩගෙන, තවත් අස්ථි හදුනාගෙන ඇති බැවින් එය සමූහ මිනීවළක් ලෙස නම්කරන ලෙස ඉල්ලමින් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ගොනු කළ නඩුව ජුනි 06 වැනිදා විභාගයට ගත් අවස්ථාවේය.
අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු නීතිඥ රනිතා ඥානරාඡා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ මෙම භුමිය තුළ මිනිස් අස්ථි කොටස් අවුල් සහගත පරිසරයක හෝ කලබලකාරී ආකාරයකින් වළ දමා ඇති බවත් කැනීම් කටයුතු මෙහෙයවන ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් දෙදෙනාගේ වාර්තාවේ ඇතුලත්ව තිබු බවයි.
“මෙම නඩුවේදී යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්, වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව යන අයගේ නිරීක්ෂණ වාර්තා මත පදනම්ව, ඔවුන් දෙදෙනාම කරුණු තුනක් ඉදිරිපත් කළා. පළමු කරුණ වන්නේ, කැණීම් කටයුතු සිදු කරන ස්ථානයේ සිට අඩි 1.6 ක් යටින් මිනිස් අස්ථි කොටස් හදුනාගන්න පුළුවන් කියලා. මිනිස් ඇටකටු අවුල් සහගත පරිසරයක හෝ කලබලකාරී ආකාරයකින් හෝ වළ දමා තිබෙනවා. අදාළ ස්ථානවල ඇඳුම් හෝ පුද්ගලික උපාංග කිසිවක් සොයාගෙන නැහැ. මෙය නීති විරෝධී හෝ රහසිගත සුසාන භූමියක් විය හැකි බවට සැකයක් තියනවා.”
සමුහ සුසානයේ විමර්ශන අඛණ්ඩව සිදු කරගෙන යෑමේ අවශ්‍යතාවය කැනීම් කටයුතු මෙහෙයවන විශේෂඥයන් විසින් අධිකරණයට පෙන්වා දුන් බව සදහන් කරන නීතිඥ රනිතා ඥානරාඡා අවධාරණය කරන්නේ විශේෂඥයන් සෑහීමකට පත්වන තෙක් කැණීම් කටයුතු දිගටම කරගෙන යන ලෙස යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා නියෝග කළ බවයි.
“මේ වන විට ඇටසැකිලි 17 ක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම හඳුනාගෙන තිබෙන අතර මිනිස් ඇටසැකිලි 5 ක් ගොඩට අරගෙන තිබෙනවා. බොහෝ මිනිස් අස්ථි කොටස් අර්ධ වශයෙන් හඳුනාගෙන තිබෙන නිසා මේ මත පදනම්ව, මහාචාර්යවරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිර්දේශ කළේ මෙම මිනිස් සුසාන භූමිය අඛණ්ඩව කැණීම් කරන්න ඕන කියලා. වින්දිතයන්ගේ පාර්ශ්වයන් නියෝජනය කරලා අධිකරණයට ඉදිරිපත් වු නීතිඥයාත් ඉල්ලීම් කළේ කැනීම් කටයුතු දිගටම කරන්න ඕන කියලා. විශේෂඥයින් කැණීම් කටයුතු පිළිබඳව සෑහීමකට පත්වන තෙක් කැණීම් කටයුතු දිගටම කරගෙන යන ලෙස අධිකරණය නියෝග කරා. “
දින 40 ක කාලයක් අඛණ්ඩව කැනීම් කටයුතු කරගෙන යෑමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන ලෙසත් යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ට උපදෙස් ලබා දී තිබේ.
වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් චෙම්මනියේ සිද්ධුපත්ති සමූහ සුසානයේ දෙවැනි අදියරේ, කැනීම් කටයුතු ජුනි 06 දා පස්වැනි දිනටත් සිදු කර තිබුනි.

