මුදල් අහේනියෙන් පෙලෙන ලංකාවේ අලිවෙඩිවලටත් කෝටි ගානක්

elephants human conflict in Sri Lanka
සේයා - කුෂාන් කණිෂ්ක

ඩොලර් අර්බුදයට අමතරව රුපියල් හිඟයකටද මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ ගම්වදින වන අලීන් පන්නා දැමීම සදහා වාර්ෂිකව රුපියල් කෝටි දෙසිය අසුවක් වියදම් කිරීමට රජයට සිදු වන බව හෙළි වී තිබේ.

වගා බිම්වලට හා ගම්වලට කඩා වදින වන අලින් පළවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි දේශීය ගිණිකෙළි කර්මාන්තකරුවන්ගෙන් මිල දී ගන්නා අතර වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14ක් බව පවසන වනජීවි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ සදහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බවයි.

කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින් සමග පසුගියදා පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

වන අලින් ගම්වැදුනු අවස්ථාවල එම ප්‍රදේශයේ ජනතාව වනජීවි නිලධාරින්ට දැනුම් දුන්න ද මේ වනවිට රටේ පවතින ඉන්ධන සීමාවන් හමුවේ ඇතැම් අවස්ථාවල වනජීවි නිලධාරින්ට නියමිත වේලාවට අදාල ස්ථානයට ගමන් කිරීමේ ප්‍රායෝගික අපහසුතා ද මතුව ඇතැයි ද වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් එහිදී පෙන්වා දී තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබුනේ රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවීමට අද වනවිට රජයට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවයි.

මූල්‍ය අරමුදල හරහා සිදුවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් මුදල් අච්චු ගැසීමට ද නොහැකි වී ඇති බවත් ඔහු එහිදී පවසා තිබුනි.

වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙන්වා දෙන්නේ දැනට පවතින අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අලි වෙඩි සඳහා දැනට වැය වන මුදලට වඩා වැඩි මුදලක් ඉදිරියේදී වැය කිරීමට සිදු විය හැකි බවයි.

අලි මිනිස් ගැටුම්

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක විසි පහෙන්, දහ නමයකම අලි මිනිස් ගැටුම් පවතින බව රජය පිළිගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දහ නමයක් තුළ පිහිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 133 ක දැනට අලි මිනිස් ගැටුම් වාර්තා වේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවන්ට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි.

එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85ක් වේ.

2020 වසර තුළ ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් නිසා අලි 327ක් සහ මිනිසුන් 113ක් මරණයට පත්ව තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වඩාත්ම උග්‍ර වූ වසර ලෙස 2019 වසර සටහන්ව ඇත.

අවසන් වරට ශ්‍රී ලංකාවේ අලි සංගණනයක් සිදු කර ඇත්තේ 2011 වසරේදීය.

එම දත්ත වලට අනුව ලංකාවේ අලි ගහනය 5879කි. ඉන් 55 දෙනෙකු වැඩුණු දළ ඇතුන් විය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.